පිස්සු පර්සි ආපසු එයි – පර්සි මහත්තයාගේ කතා – 2
නහය වහගෙන අවංකයාට ඡන්දය දීම
සෑහෙන කාලයක් තිස්සේ සද්දයක් බද්දයක් නැතිව හිටි පර්සි මහත්තයා හැන්දෑ කොරේ අපේ ගෙවල් පැත්තට ඇවිදගෙන එනු දුටු මම ඔහු පිළිගැනීමට ඉස්තෝප්පුව දෙසට ගියෙමි. “ආ, පර්සි මහත්තයා, දහ අට වෙනි සංශෝධනේ කොහොම හරි පරද්දන්න පුළුවන් කියල කෑ ගහ ගහ හිටියට පස්සෙ දැක්කෙම නෑ නේ.” ඡන්දයට කැන්වසින් යාමට සූදානම් වෙමින් සිටි චූටි මල්ලි කීවේය. “ඒක නේන්නං අයිසෙ, බලනවකො 18 වන සංශෝධනයට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය යුතුයි කියල අපේ වමේ පක්ෂ ඔක්කොම යෝජනා සම්මත කළානෙ. ඒ වුණාට අපේ පක්ෂවලින් පාර්ලිමේන්තු අපි පාර්ලිමේන්තු යැව්ව අපේ නායකයො අන්තිම්ම මොහොතෙ අපිව පාවාදීල සංශෝධනේට පක්ෂ වුණානෙ.” පර්සි මහත්තයා කීවේ කනගාටුවෙනි. “එහෙනම් ඉතින් පර්සි මහත්තයල එකතු වෙලා ඒ නායකයන්ව පක්ෂෙන් අයින් කරන්න තිබුණනේ?” චූටි මල්ලිත් නවත්තන්නේ නැත. “ඔව් අයිසෙ, හරි නම් ඒක තමයි කරන්න ඕනැ. ඒත් බලනවකො නායකයො පක්ෂයෙන් අස් කළේ අපිව නෙ.” පර්සි මහත්තයා කීවේය. “ඉතින් පර්සි මහත්තයලා පහුගිය දවස්වල මොකද කළේ?” මම ඇසුවේ ඔහු පත්ව සිටින අසරණ තත්ත්වයෙන් මුදා ගන්නා අටියෙනි. “වෙනද කර කර හිටිය වැඩම තමයි අයිසෙ. මොකද පක්ෂෙ හිටියයි කියල අපි කයිවාරු ගැහුව මිස ඒකෙ ඒ හැටි වැඩක් කළාය කියලය. ඒත් පහුගිය කාලෙ අපි ඉතාම වැදගත් වැඩක් කළා. අපි නිකං ඉන්න වෙලාවට පත්තරවලට ලිව්වා.” “දැන් ඉතින් පර්සි මහත්තයා පක්ෂෙත් නැති එකේ මේ ඡන්දෙදිවත් ආණ්ඩුවට අභියෝගයක් දෙන්න එකතු වෙලා මොනව හරි කරමු නේ?” චූටි මල්ලි මේ උත්සාහ කරන්නේ පර්සි මහත්තයා ද කැන්වසින්වලට ඇද ගන්නට විය යුතුය. අපේ ගෙවල් කඩා දැමීමට සැරසෙන ආණ්ඩුවට කොළඹදී අභියෝගයක් දීමේ අරමුණින් චූටි මල්ලිලා එක්සත් ජාතික පක්ෂයට වැඩ කරයි. “මේකනෙ අයිසෙ, දැන් ආණ්ඩුව ගෙනියන්නේ ඉස්සර යූ.ඇන්.පි.ය අරගෙන ගිය ප්‍රතිපත්තිමයි. අනික ආණ්ඩුවෙ ප්‍රධාන අපේක්ෂකයො වෙන මිලින්දයි, සාලියි, මහරුෆුයි තුන්දෙනාම හොඳ යූ.ඇන්.පී. කාරයො නේ. පක්ෂයෙන් අයින් කරත් අපි වාමාංශිකයොනෙ. ඒ නිසා අපි බලන්නේ යූ.ඇන්.පී. එකටත් වාසියක් නොවෙන විදියට ආණ්ඩුවෙ ප්‍රතිපත්තිවලට විරුද්ධ වෙන්නයි. ඒකට අපි අලුත්ම ක්‍රමයක් හොයා ගත්තා” පර්සි මහත්තයා උජාරුවෙන් කියන විට මමත් චූටි මල්ලිත් කට ඇරගෙන බලා සිටියේ මේ අලුත්ම ක්‍රමය කුමක්දැයි දැන ගැනීමටය. “අපි ජනාධිපතිටත් හොරෙන්ම අපේම මිනිහෙක් ආණ්ඩු පක්ෂෙ ලැයිස්තුවට රිංගෙව්වා. ඒ මිනිහ හරිම අවංක මිනිහා. ඉතින් අපි ජනතාවට කියන්නෙ ඡන්ද පොළට ගිහිල්ලා නාහෙ මිරිකල අල්ලගෙන ආණ්ඩු පක්ෂෙට කතිරෙ ගහලා, ඊට පස්සෙ එහෙම කළේ නෑ වගෙ ඒක අමතක කරලා, නහය අත ඇරලා හොඳ හුස්මක් අරගෙන අපේ අවංක මිනිහගෙ අංකෙ ඉස්සරහින් මනාප තුනම ගහන්න කියන එකයි. ඒ ඡන්දවලින් අවංකයාව පත්වුණාම තමයි යූ.ඇන්.පී. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ජනාධිපතිටයි, ආණ්ඩුවටයි, යූ.ඇන්.පී. එකටයි සේරටම තරු පෙනෙන්නෙ. මොකද ආණ්ඩු පක්ෂය නගර සභාව දිනුවත් අපේ අවංකයා ඇතුළෙ ඉන්න නිසා ඒ ගොල්ලන්ට ඕන විදියට ගෙවල් කඩන්නයි අරව මේව කරන්නයි ලැබෙන්නෙ නැහැ. දැන් තේරුණාද?” පර්සි මහත්තයා තමන්ගේ බුද්ධිමත් විසඳුම ඉදිරිපත් කළේය. අපට කට උත්තර නැති විය.
පර්සි මහත්තයාගේ තවත් කතා









