‛නිදහසේ වේදිකාව’ විසින් සංවිධානය කරනු ලබන ‛‛LLRC වාර්තාව සහ මව්බිමේ අනාගතය’’ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් පසුගිය ජූලි මස 11 වැනිදා මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැත්වුණි. මෙම සම්මන්ත්‍රණයේ මුලසුන හොබවන ලද්දේ ‛සමාදානම්’ සංවිධානයේ මුසම්මිල් කාදර් මහතා විසිනි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා, නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවන් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා, නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා දක්වන ලද අදහස් සහ අනෙකුත් කථිකයන් දැක්වූ අදහස් වලින් උපුටාගත් කොටස් මෙවර ‛සමබිම’ හරහා ඔබ වෙත ගෙන එමු. මෙහි සම්පූර්ණ කතාව සමබිම වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකිය. නිදහසේ වේදිකාවේ මීළඟ සම්මන්ත්‍රණ ජූලි 29 ඉරිදා සවස ගාලු පුරහලේදීත්, අගෝස්තු 5 ඉරිදා උදේ බදුල්ල නගරයේදීත් පැවැත්වීමට නියමිතය.
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාරදුන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී. 2011 දෙසැම්බර් 16 වැනි දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ජනාධිපතිවරයාට වාර්තාව භාරදී මාස 7ක කාලයක් ඉක්ම ගියත් තවමත් එය සිංහල හා දෙමළ භාෂාවලින් ප්‍රසිද්ධ කොට නැහැ. එම වාර්තාව සර්ව සාධාරණ එකක් කියලා අපි කියන්නෙ නැහැ. වර්ෂ 2010 මැයි මස 06 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ මෙම කොමිසම දකුණු අප්‍රිකාවේ පත්කල ‛සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම’ හා සමාන එකක් බවයි. නමුත් පසුව එම නාමයේ ‛‛සත්‍ය’’ කොටස හැලී උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම යනුවෙන් නාමකරණය වුණා. එහි අධිකාර පත්‍රයෙහි දක්වා තිබුණේ සටන් විරාම ගිවිසුම අසමත් වූයේ ඇයිද යන කාරණය විමර්ශනය කිරීමට එය පත් කරන බවයි. කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීමේදී එය සියළු ජන වර්ගයන්ගේ සහභාගිත්වයෙන් කළ යුත්තක් වුවත් ජනාධිපතිවරයා තමන්ගේ තනි කැමැත්තට එම පත්කිරීම් සිදුකළා.
මානව හිමිකම් උල්ලංඝනයන් ආදී කාරණා පිළිබඳව පරික්ෂා කිරීම සඳහා අපක්ෂපාතී කමිටුවක් පත්කරන බවට වර්ෂ 2009 මැයි මස ජනාධිපතිවරයා පොරොන්දු වුණා. එසේ පොරොන්දු දී තිබියදීත් මේ ආකාරයෙන් අත්තනෝමතිකව කටයුතු කිරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාව පිළිබඳ සොයා බලා තමන්ට වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටුව හෙවත් දරුස්මාන්ගේ කමිටුව පත්කළා. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම වූයේ උගත් පාඩම් කොමිසමේ වාර්තාව ඉදිරිපත් කරන තුරු ඉවසා සිටින ලෙසයි.
යුද්ධයේ අවසාන භාගයේදී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද යුද මුක්ත කලාප 3ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සම්බන්දයෙන් රජයේ ප්‍රතිචාරය වශයෙන් වාර්තාවේ දක්වන්නේ එවැනි වැරදීමක් සිදුවිය නොහැකි බවයි. ඉතා නිවැරදිව ඉලක්ක නිර්ණය කරමින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ශ්‍රී ලංකා හමුදාව සතු නිසා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ආණ්ඩුව කියනවා. ඒ වුණත් රෝහල්වලට බෝම්බ ප්‍රහාර එල්ල වීම් පිළිබඳ චෝදනාවට කිව්වේ යුද්ධයකදී එවැනි අත්වැරදීම් සිදුවිය හැකි බවයි. මේ කරුණු දෙකම තියෙන්නේ එකම වාර්තාවේ. ඒ වගේ උදාහරණ තව ගොඩක් තිබෙනවා. ඒ අඩුපාඩු තිබියදී වුවත් උගත් පාඩම් කොමිසම විසින් ඉතාම ප්‍රශංසනීය, පිළිගත හැකි, සාධාරණ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව අපි පිළිගන්නවා.
අද උතුරේ හමුදාවේ අවසරයක් නැතිව කිසිම අවමංගල උත්සවයක් පවත්වන්නට බැරි බව ඔබ මීට කලින් අහලා තිබුණා ද? මළගෙයක් වුණාම හමුදාවෙන් ඇවිත් බැනර් එකක් එල්ලනවා ‛අපේ බලවත් ශෝකය’ කියලා. අපි එතකොටයි දැනගන්නේ මළගෙදර පවත්වන්න අවසර දුන්න බව.
පසුගිය වසරේ ජූලි මාසයේ අපි යාපනයේදී ඡන්ද රැස්වීමක් පැවැත්වුවා. ඒ රැස්වීමට සම්පූර්ණ හමුදා ඇඳුමින් සැරසුණ, ස්වයංක්‍රීය ගිනි අවි සහ පොලු වලින් සන්නද්ධ තිහක තිස්පහක පිරිසක් කඩා වැදිලා අපිට පහරදුන්නා. පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කරද්දී මම කිව්වා ඒ පහරදීම මෙහෙයවපු හමුදා මේජර්වරයා මට හඳුනාගත හැකි බව. ඒත් පොලීසිය අධිකරණයට වාර්තා කළේ හමුදා ඇඳුමින් සැරසුණ නාඳුනන පිරිසක් ටී.එන්.ඒ. රැස්වීමකට පහරදී තිබෙනවා කියලා.
මිලිටරිහරණය කියන කාරණාව උගත් පාඩම් වාර්තාවේ සහ ජිනීවා යෝජනාවේ තිබෙන නිසා සාමාන්‍ය සිවිල් ජනතාවගේ කටයුතු වලින් හමුදාව ඉවත් කරන බවට සභානායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. ඒත් දැනට මාසෙකට කලින් යාපනය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ඒ ප්‍රාදේශීය සභාවලට අයත් ඉඩම් හමුදාවට භාරදෙන්න නියෝග කරන ලිපි යවා තිබෙනවා. ඒ ලිපි අපි ළඟ තියෙනවා. ඒ බලපෑම තනි පුද්ගලයන්ටත් කරනවා. මම දන්නා එක පුද්ගලයෙක් පස් වතාවක් හමුදා කඳවුරට ගෙන ගොස් ඔහුගේ ඉඩම් හමුදාවට ලබා දෙන්නට යැයි බලපෑම් කර තිබුණා.
මෙවැනි රටක තමයි අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාව ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව නිදහස අගය කරන්න ඉගෙන ගන්නා තුරු මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නෙ නෑ.
දෙමළ මිනිස්සු නෙවෙයි. කන්ද උඩරට සිංහල ජනතාවගෙන් සැදුම්ලත් උඩරට ලීගයයි ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම එක්දාස් නවසිය තිස්ගණන් වලදී ෆෙඩරල්වාදය ඉල්ලා සිටියේ. ඒ වෙලාවේ උඩරට ප්‍රධානීන්ට ඇහුම්කන් දුන්නා නම් වර්තමානය මීට වඩා බොහෝ වෙනස් වන්නට තිබුණා.
මෙතුවක්කල් ලංකාවේ මිනිස්සුන්ට පුළුවන්කම තිබුණා තමන්ගේ එකෙක් මැරුණාම තමන්ට කැමති විදියට භූමදාන කරන්න. ඒත් අපේ ආඩම්බර තාත්තා මොකද කළේ? රොෂේන් චානකගෙ අවමඟුල තමන්ට ඕන විදියට කරන්න ඥාතීන්ට ඉඩ දුන්නෙ නෑ. පෙළපාලි නෑ. රැස්වීම් නෑ. පල්ලිය ඇතුළේ නිහඬව ආගමික කටයුතු කරලා භූමදාන කරන්න කිව්වා.
විවිධ හේතු නිසා විවිධ කාලවල යුද්ධ ඇතිවෙන්න පුළුවන්. නමුත් යුද්ධෙ ඉවර වුණාම වගකිවයුතු නායකයෝ ඊට හේතු සොයා වහාම පිළියම් යෙදිය යුතුයි. නමුත් අපි යුද්ධය උළුප්පලා උඩදාමින් ඉන්න එකයි තාමත් කරන්නෙ.
-එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය
අපේ අතපය කැඩුවත්, අපිව හෙට මරා දැම්මත් ලංකා මාතාවගේ කීර්තිනාමය වෙනුවෙන් අතට ගත් කොඩිය අපි කවදාවත් බිමින් තියන්නෙ නෑ. මම ඔබට ආරාධනා කරනවා පුදුමාතලන්, නන්දිකඩාල් ප්‍රදේශ වෙත යන්න. ඒ ප්‍රදේශ දෑසින්ම දැකගන්න. දැකලා ප්‍රතිසන්ධානය සහ සංහිඳියාව ගැන අදහසක් ඇතිකරගන්න.
-ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර වර්ගීකරණවල හොඳ ස්ථානවල වැජඹුණු කාලයක් තිබුණා. ඒත් අද නවීන ලෝකයට ගැලපෙන්න අපේ අධ්‍යාපන රටාවන් හැඩගස්වන්න කාටවත් ඕනකමක් නෑ.
-එ.ජා.ප. මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්
